අදට එක් සාළිස් වසරතට පෙර, සැප්තැම්බර් මාසයේ එක් උණුසුම් උදෑසනක කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ටෙලිෆෝනය නාද විය. ඊට පිළිතුරු දුන් අංශාධිපති මහාචාර්ය හේමපාල විජයවර්ධන මහතා මා දෙස බලා “ජේ.බී, වීසී වහාම අප දෙන්නට එන්ඩ කියනවා!”යි කීය. මට හීන් දාඩිය වැටිණ! උපකුලපතිවරයා මේ හදිසියේ ම අප දෙන්නාට එන්ට කීවේ හොඳකට නම් විය නොහැකියැයි මට සිතිණ.
අපි දෙන්නා හැකි ඉක්මනින් උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර මහතා සිටි කාමරයට දිව්වෙමු. ඔහුගේ කාමරයෙහි අප කිසි දා නුදුටු අමුත්තෙක් විය. ඔහු නූස් ය, නොමිටිය. “මේ තමා හසන් මනිකු මහත්තයා, මාල දිවයිනේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තුමා”. අපි අතට අත දී සිනා සීමු.” “එතුමා ළඟ තියෙනවා පරණ තඹ සන්නසක ඡායා පිටපත් කීපයක්. එතුමා කියනවා දන්න දන්න හැම විශ්ව විද්‍යාලයකින් ම ඇහැව්වලු මෙවා කියවන්ට පුළුවන් ද කියලා. කාට වත් ම බෑ කිව්ව ලු! විජෙයි ජේබීයි වත් ඇරං බලන්ට මේවා කියවන්ට පුළුවන් ද කියලා.”
විශාල අභියෝගයක්! අපි දෙදෙනා ඡායා පිටපත් ද රැගෙන උපකුලපතිතුමාගේ කාමරයෙන් පිටතට ආවෙමු. වඩාත් හොඳ එළියක් කොලෙජ් හවුස් බැල්කනියෙහි තිබුණු නිසා ය. අපි දෙදෙනා පිටපත් බෙදා ගෙන විනාඩි කීපයක් ඒ දෙස හොඳින් බැලීමු.”
“දෙය්යෝ සාක්කි!” යැයි කියා කෑ ගැසිමට මට සිතුණත් මම එසේ නොකළෙමි.”
“මේ සිංහල නෙ! ”
දහවෙනි සිය වසේ සිංහල නෙ. පණාකඩුවෙ තඹ සන්නසේ අකුරුත් මේ වගේ ම යි.” විජයවර්ධන මහතා ද හිස සැලුවේය.”
ඒක නේන්නං”. අපි දෙ දෙනා කුලපතිවරයා වෙත ගොස්” “මේවා අපට කියවන්ට පුළුවන්” යැයි එක්වර කීමු. මනිකු මහතා හිසේ මලක් පිපුණාක් මෙන් සිනාසුණේය. කුලපතිතුමාගේ මුහුණෙහි ද සිනාවකි.
මහාචාර්ය විජේවර්ධන එහි මුල් පිටුව ගෙන මේකෙ තියෙන්නේ “ස්වස්ති ශ්‍රී සෝමවංස ශ්‍රී තීමුගෙ මහබරණ මහ රසුන්” යයි කීවේ මනිකු මහතා අන්ද මන්ද කරමිනි! අපට මේක කියවන්ට පුළුවන්!” යැයි විජයවර්ධන මහතා කීවේය.
“එහෙනං යමු මාල දිවයිනට! මේවායේ මුල් පිටපත් තියෙන්නේ මාලෙ ජාතික කෞතුකාගාරයෙ.” මනිකු මහතා නොඉවසිල්ලෙන් කීවේය.
ජේ. බී. දිසානායක
* මාලදිවයිනේ පුරාණතම ඓතිහාසික ලේඛනය වන ‘දබිදු ලෝමාෆානු‘ තඹ සන්නස පළමුවරට කියවීම (මහාචාර්ය හේමපාල විජේවර්ධන සමඟ මෙය ‘ Dabidoo Loamafanu’ යන නමින් මාලදිවයිනෙහි පළ කොට ඇත.